Published On: Sat, Aug 20th, 2016

ඔස්ට්‍රේලියාව හෙට ලංකාවට ගේමක් දෙන්න හදයි

sport-gossip-story-sri-lanka-vs-australia-oneday-seriesහිණි පෙත්තේ සිටියදී සෝදාපාලුවට ලක්‌වූ ටෙස්‌ට්‌ තරගාවලි (3-0) පරාජයෙන් හෙම්බත්ව සිටින ස්‌ටීවන් ස්‌මිත්ගේ නායකත්වයෙන් යුත් ඔස්‌ටේ්‍රලියාව තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ ගිලිහුණ අභිමානය සොයා තරග වැදීමට සූදානමින් සිටිති. එක්‌දින සටන වෙනුවෙන් කණ්‌ඩායම් දෙකම ඊයේ (19 දා) ප්‍රථම පුහුණු සැසිවලට සහභාගි වෙමින් හෙට (21දා) නව ඉලක්‌කයක්‌ වෙනුවෙන් අවි අමෝරා සිටිති. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ප.ව. 2.30 ට ආරම්භ කිරීමට නියමිතය.

‘අපි සියලු දේ අමතක කර දමා එක්‌දින තරග වෙනුවෙන් ඔලුව හදාගෙන තියෙනවා.” යෑයි ඔස්‌ටේ්‍රලියානු නායක ස්‌ටීවන් ස්‌මිත් මාධ්‍ය හමුවේ පවසා සිටියේ ගිලිහුණු අවනම්බුව එක්‌දින තරගාවලියේදී හෝ ලබා ගැනීමේ අරමුණින් කණ්‌ඩායම වෙහෙසන බව ප්‍රතිවාදීන්ට අනතුරු අගවමිනි. ඔස්‌ටේ්‍රලියාව එක්‌දින සටනට පිවිසෙන්නේද ප්‍රසාද ලකුණු 123 ක්‌ සමග ශ්‍රේණියේ පළමු ස්‌ථානයේ වැජඹෙමින් සිටින අතරතුරය. එහෙත් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 102 ක්‌ ලබා අදාළ ශ්‍රේණියේ හය වැනි තැන පසුවේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන දක්‌වා උසස්‌වීම් ලබන අතර ඔස්‌ටේ්‍රලියාව පරාජය වුවහොත් ටෙස්‌ට්‌ ශ්‍රේණියේ සිදුවූ ඉරණම අත්විදීමට සිදුවේ.

ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටින ශ්‍රී ලංකා පිලේ එක්‌දින සංයුතිය තේරීම මන්දගාමීව සිදු වුවද කණ්‌ඩායමේ බහුතරයක්‌ ක්‍රීඩකයන් කලින්ම එක්‌දින සංචිතයට ඇතුළත්ව ඇති බවට ලැබුණු හෝඩුවාවෙන් ටෙස්‌ට්‌ තරගයෙන් පසුව එක්‌දින මානසිකත්වයට හුරු විය. සනත් ජයසූරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව නිල වශයෙන් කණ්‌ඩායම ප්‍රකාශයට පත්කිරීම කල්මරද්දී දුරකථන ඔස්‌සේ සංයුතියට නම් කළ බව ආරංචි වූ ක්‍රීඩකයෝද සිය අවි අමෝරාගෙන ඔස්‌ටේ්‍රලියානුවන්ට එරෙහිව සටනට එක්‌වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ හිතේ තිබෙන සංයුතිය නිල වශයෙන් මුදා හැරීම ඔවුන්ගේ ඇග කිළි පොළා යන කටයුත්තක්‌දැයි මාධ්‍යවේදීන්ට ප්‍රශ්නයක්‌ වී තිබේ. තරගය ආරම්භ වීමට දින තුනක්‌ තිබියදීත් ස්‌ෂීර එක්‌දින සංයුතිය නම් කිරීමට නොහැකි වීම ඇතැමුන්ගේ ‘චොයිස්‌’ තේරීමේ උප්පරවැට්‌ටියක්‌දැයි මෙවැනි සිදුවීම් ඔස්‌සේ සැකයට භාජනය වේ. කෙසේ වෙතත් දුරගමනක්‌ යන්නට කලින්ම ලක ලැහැස්‌ති විය යුතු බව සනත් ජයසූරියගේ තේරීම් කමිටුව මතක තබාගත යුතුවේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සංයුතියට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ම එක්‌වෙද්දී තිලකරත්න ඩිල්ෂාන්ද කණ්‌ඩායමට එක්‌වීම ඔස්‌ටේ්‍රලියානුවන්ට නම් එතරම් සුවදායක තත්ත්වයක්‌ නොවනු ඇත. ඩිල්ෂාන් අවසන් එක්‌දින ඉනිම දහය තුළදී අර්ධ ශතක හතරක්‌ ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ සිටියද ප්‍රශ්නය වී ඇත්තේ ඔහුට තවත් දෙමසකින් හතළිස්‌ වැනි උපන්දින කේක්‌ ගෙඩිය කැපීමට සිදුවීමයි. වයස අවුරුදු 42 දීත් මංගල ටෙස්‌ට්‌ තරග අරඹපු විශිෂ්ටයන් සිටියදී ඩිල්ෂාන් තවමත් සමුගැනීමේ වගේ වගක්‌ නැත. ”මම සමුගන්න තීරණය කරල නැහැ. මම හොඳින් ක්‍රීඩා කරන නිසා එහෙම හිතන්න අවශ්‍යතාවක්‌ නැහැ. ඒත් සමහරුන්ට ඕන ඇති මාව අයින් කරන්න.” යෑයි සංයුතිය නම් කිරීමට පෙර කළ විමසීමකදි ඩිල්ෂාන් පැවසීය.

දශක හතළිහකට ඉහතදී ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව පළමු වරට එක්‌දින සටනකට සහභාගි විය. 1975 ක්‍රිකට්‌ ලෝක කුසලානයේදී අනුර තෙන්නකෝන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ලකුණු 52 කින් පරාජය කිරීමට ඉයන් චැපල්ගේ කැන්ගරුවන්ට හැකිවිය. නමුත් ඉන් වසර අටකට පසුව දෙරට යළිත් මුණ ගැසුන අවස්‌ථාවේ ප්‍රතිඵලය වෙනස්‌ වූයේ දුලිප් මෙන්ඩිස්‌ගේ නායකත්වය යටතේ ප්‍රබලයෑයි සම්මතව සිටි ඔස්‌ටේ්‍රලියානුවන්ව තරග හතරකින් සමන්විත එක්‌දින තරගාවලිය 2-0 ක්‌ ලෙස පරාජය කිරීමෙනි. ඒ වන විට ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ වරම් ලබා 12 මසක්‌වත් ගත වී නොතිබුණි. අදාළ පරාජයත් සමග ග්‍රෙග් චැපල්ගේ කැන්ගරු කණ්‌ඩායම මෙවර ස්‌ටීවන් ස්‌මිත්ගේ පිල මෙන් නන්නත්තාරව සිටියේය.

1992 දී යළිත් පැමිණි ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුත් ඔස්‌ටේ්‍රලියානු පිල අර්ජුන රණතුංග මෙහෙයවූ ශ්‍රී ලංකා පිල හමුවේ 2-1 ක පරාජයක්‌ අත්වින්දේය. වසර 29 ක්‌ පුරා ශ්‍රී ලංකාවේදී එක්‌දින තරගාවලියක්‌ ජය ගැනීමට නොහැකිව සිටි ඔස්‌ටේ්‍රලියානුවන් 2004 දී රිකී පොන්ටින්ගේ නායකත්වයට යටතේ 3-2 කින් මාවන් අතපත්තු මෙහෙයවූ ශ්‍රී ලංකා පිල පරාජය කර දමමින් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව පළමු තරගාවලිය ජය ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර පැවැති එක්‌දින තරගාවලියේ හයේදී ශ්‍රී ලංකාව තෙවරක්‌ ජය ගනිද්දී ඔස්‌ටේ්‍රලියාව ජය ගෙන ඇත්තේ දෙවතාවක්‌ පමණි. එක්‌ තරගාවලියක්‌ සම සමව අවසන්ව ඇති අතර මෙවර තරගාවලිය ජය වෙනුවෙන් පළමු සටනේ ජය උදුරා ගන්නා කණ්‌ඩායමට යහපත් මනසකින් සටන අවසන් කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී. එබැවින් හෙට තරගය ඉතාමත් උණුසුම්ය.

අසේල විතාන


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>